Visit Count

page counter

Wednesday 16 October 2019

සිංහල බෙහෙතින් රෝග සුවවීම ප්‍රමාදවෙනවාද ?



සිංහල බෙහෙතින් රෝග සුවවීම ප්‍රමාදවෙනවාද ?



රෝගීවීම අප කාටත් පොදු දෙයකි. එවන් අවස්ථාවක අප උත්සහ දරන්නේ කුමන හෝ ක්‍රමයකින් රෝගයෙන් අපට ඇති වී තිබෙන පීඩාවන් අවම කරගන්නටය. අප ඒ සඳහා තෝරාගන්නා දේ ඇතැම්විට විධිමත් විය හැකි අතර ඇතැම් විටක අවිධිමත් විය හැකිය. කෙසේ නමුත් දැන් දැන් බොහෝ දෙනා සිංහල බෙහෙත් ගැන උනන්දුවක් දක්වන අතර  ඇතමුන් තමන්ගේ නොදන්නාකම නිසාම සිංහල බෙහෙතින් ඇතිවන ප්‍රතිඵල  අවතක්සේරු කර කඩාකප්පල් කිරීමට උත්සහ දැරීමක්ද දැකිය හැකිය. සිංහල බෙහෙත් සහ ආයුර්වේදය යනු එකක් ද, මේ ඇතමෙක් නගන පැනයකි. ආයුර්වේදය යනු අප රටේ බිහිවූවක් නොව ඉන්දියාවෙන් අපට ලැබුන ප්‍රතිකාර ක්‍රමවේදයකි. නමුත් හෙළ වෙදකම යනු බුද්ධදාස රජ සමයේ පටන් මෙදියත පැවති ප්‍රතිකාර ක්‍රමවේදයකි. ඇතමුන් පවසන සිංහල වෙදකමෙන් රෝග සුවය ප්‍රමාදයක් පවතීද යන්න විමසීමට අද අප හෙල ඔසු( https://slhelaosu.blogspot.com/?m=1)පිටුව තුළින් උත්සහ දරමු.

මිනිසාට ඇතිවන ව්‍යාදීන් මුලිනුපුටා දැමීමට අවැසි ඖෂධ සකස්කිරීම සිදුවනුයේ ස්වභාව දහම තුළ නිපදවෙන දේ භාවිතයෙනි. ජලය යනු අප කවුරුත්  පිළිනොගත්තත් හොඳ ඖෂධයකි. නමුත් ජලය නිෂ්පාදනය කළ කෙනෙකු අපට හමුනොවේ. සිංහල වෙදකම ලෙස අප අරුත් ගන්වන්නේ ස්වභාව දහම තුළ අපට ඇති සම්පත් භාවිතය තුළින් අප, අපට ඇතිවන ව්‍යාධීන් සුව කර ගැනීමේ විද්‍යාවයි. මෙය මිනිසා පමණක් නොව සතා සීපාවාද දන්නා වෙදකමකි. ඔබේ නිවසේ ඇතිකරන බළලා කුප්පමේනියා ගසක මුල, ඌගේ බඩේ ඇතිවන ආබාධයට ගුණ බව දන්නේ අලුතින් වෙදකම ඉගෙන ගෙන නොවේ. සුනඛයා කලාඳුරු ගසක පත්‍ර තම උදරාබාධයට අනුභව කරනුයේ වෙදකම ඉගෙන ගෙන නොවේ. මෙසේ සත්ත්ව ලෝකයේ ඇති ප්‍රතිකාර ක්‍රමද බොහෝය. සිංහල වෙදකම අනුව සතා සීපාවාටද වෙදකම් කළ බව අප බුද්ධදාස රජතුමා නයෙකුගේ බඩ පලා බෙහෙත් ගල්වා සුව පත් කළ කතාව තුළින්  අසා ඇත. එසේ නම් අද ශල්‍යකර්ම ලෙස හඳුන්වන ක්‍රියාව සිංහල වෙදකමේත් නැතිනම් හෙළ වෙදකමේත් තිබුණ බව බැහැර කරන්නට නොහැකිය. ආයුර්වේදයේද ශල්‍ය ලෙස වෙන් කෙරුණු කොටසක් පවතී.  වෙදකම කුමක් වුවත් එයින් සිදුවිය යුත්තේ රෝග සුවයයි.

අදවන විට සකස් කළ බෙහෙත් වර්ග වෙළඳ පොල ආක්‍රමණය කර තිබෙන වග ඔබ දනී. අසවල් රෝගය මේ අරිෂ්ටයෙන් පැණියෙන් සුව වේ යැයි කියන දැන්වීම් බොහෝය. නමුත් ලේබලයේ සඳහන් ඖෂධ සියල්ල එහි අඩංගුද?  නිසි ප්‍රමිතියට ඒ බෙහෙත් සකසා තිබේද, එය වගකීමක් ඇති වෛද්‍යවරයෙකුගේ නිෂ්පාදනයක්ද යන්න සොයා බැලෙන ක්‍රමවේදයක් නීතිගතව නොපැවතීම හේතුවෙන් සිංහල බෙහෙත් මුවාවෙන් වෙළඳ පොළට පැමිණෙන නිකම්ම නිකම් නමට පමණක් වූ ද්‍රව්‍ය පැවතිය හැකිය. මෙය දියවැඩියාව  ( මධුමේහය) ට ප්‍රත්‍යක්ෂය, මෙය ගැස්ට්‍රයිටිස් ( අම්ල පිත්ත රෝගය) රෝගයට ප්‍රත්‍යක්ෂය ආදී වශයෙන් ලේබල් කළ නිසි වගකීමකින් තොර නිෂ්පාදන වෙළඳ පොල පුරා සැරිසරයි. තමන්ට ඇති රෝග සඳහා ඔබ සිංහල වෙදකම නමින් මිලට ගන්නේ එසේ වගකීමක් නැති ඖෂධ නම් ඒවා කෙතෙක් කල් පානය කළත් ලෙඩ රෝග සුවයක් නොව නැති ලෙඩ ඇතිවීමක් විය හැකිය.එය සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ වරදක් නොවේ. ඉංග්‍රීසි වෙදකමේ වෛද්‍යවරයාගේ වට්ටෝරුවක් නොමැතිව ඖෂධ ලබා නොදුන්නත් සිංහල බෙහෙත් බඩු වෙළඳ සැලක වීදුරු කබඩ් තුළ පුරවා තිබෙන ඇතැම් ඖෂධ නමින් නම්කර ඇති සංයෝග තම හිතුමතයේ ගැනීමට කිසිදු බාධාවක්. නැත. මේවායේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතින නිසා තමන් සුවයක් නොලද බව කියන අයද බොහෝය. සිංහල ක්‍රමය නැතිනම් ආයුර්වේදය අනුව මිනිස් සිරුර වා පිත් සෙම් නැතිනම් ත්‍රිදෝෂ අනුව හටගන්නා ව්‍යාදීන් පිළිබඳ හැඳින්වීමක් කරයි. ඇතමෙකුගේ සිරුර වාතය අධිකය. තවකෙකුගේ සිරුර සෙම් අධිකය. අනෙක් කෙනෙකු ගේ සිරුර පිත් අධික එකක් විය හැකිවා මෙන්ම වාතය අධික සිරුරකට පිත කිපීමෙන් හා සෙම කිපීමෙන් හටගන්නා රෝගයක් වැළඳෙන්නට ඇති ඉඩ කඩ අමතක කළ යුතු නොවේ.

මේ නිසා වෙදකම නොදන්නා අය තනිවම ඹෟෂධ නියම කරගැනීම බටහිර හෝ සිංහල හෝ ඕනෑම වෙදකමක් අනුව භයානකය.කෙනෙකුට ඇත්තේ කෙබඳු සිරුරක්ද යන්න නිර්ණය කරන්නට වෙද මහතෙකු නම් නාඩි පරීක්ෂාවක් සිදුකරනු ඇත. නාඩි අනුව කෙනෙකු ගොදුරුව ඇති රෝගය කුමන තත්ත්වයක්ද එය සමනය කිරීමට කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට උගත් වෛද්‍යවරයෙකුට හැකියාව තිබේ. (ව්‍යෛ නිර්දේශය මත සකස් කළ ඖෂධයක් භාවිතය වරදක් නොවේ. එවිට වෛද්‍යවරයා එය නිර්දේශ කරනුයේ එම නිෂ්පාදය යොදා ගත් අත්දැකීම් මතය.) සෙම් අධික සිරුරකට වාතය කිපීමෙන් රෝගයක් හටගෙන ඇතිනම් ඒ තත්ත්වයන් දෙකම සමනය වන සේ ඖෂධ යෙදවීම වෛද්‍යවරයාගේ කාරියයි. පුවත්පතක පළ වූ බෙහෙත් පංති, රූපවාහිනී  වැඩසටහනක කියූ බෙහෙත් පංතිවලින් තමන්ගේ රෝගවලට සුවයක් අත් නොවුනේ ඇයිදැයි සිතන ඔබට කිව හැකි වනුයේ  ඔබ ඔබම තීරණය කර බෙහෙත් බීම ඔබේ වකුගඩුවලට අනවශ්‍ය කරදරයක් කරන ක්‍රියාවක් බවයි. ඔබ බටහිර බෙහෙත් බීවත් සිංහල බෙහෙත් බීවත් ඔබේ වකුගඩුවට කිසිදු බේධයක් නැත .ඒවායින් සිරුරට එකතුවුණ දෑ වකුගඩුව විසින් පෙරනු ලබන්නේ මේවා මොන වෙදකමේද යන්න විමසමින් නොවේ. වකුගඩුවට අනවශ්‍ය ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමේ ප්‍රතිඵලය වනුයේ වකුගඩු රෝගවීම විය හැකි බව මතක තබාගන්න. සමහරු විසින් වකුගඩු රෝගීවීමේ වරද පටවනුයේ අර්ෂ්ට වර්ග වලටය. කිසිම ඖෂධයක් තවත් රෝගයක් ඇතිකිරීම සඳහා නිපදවන්නේ නැති බව මතක තබා ගන්න. අනිසි බාවිතය තුලින් සිරිරට හානි පමුණුවා ගැනීම නවතා ගත හැකිවන්නේ තමන්ටමය.


ලේබලය මත දක්වා ඇති කරුණු අනුව ඔබ බෙහෙත් තෝරාගන්නවා නම් ලේබල් වෛද්‍යවරයා පරීක්ෂාවකින් තොරව නියම කළ ඒ ඖෂධය ඇතැම් විට ඔබට විෂ වන්නටද ඉඩ තිබේ. ඒ නිසා ලේබල් වෛද්‍යවරයා හැමවිටම නොසලකා හරින්න. ඔබට යම් ආබාධයක් පවතී නම් පාරම්පරික හෝ කුමන හෝ අයුරකින් වෙදකම දන්නා රෝගීන් නිබඳවම සුවපත් කිරීමේ ඥාණයක් ඇති හැකියාවක් ඇති පළපුරුද්දක් ඇති නාඩි බලා රෝග නිර්ණය කිරීමට වෙද ඥාණයක් ඇති වෛද්‍යවරයෙකු තෝරාගන්න.සමහරු ස්වල්ප වශයෙන් ඖෂධ ලබාදෙනවාට කැමති නැත. නමුත් එළවළුවක් කිලෝ එකක ප්‍රමාණයෙන් පිසීමේදී එයට ලුණු කිලෝ භාගයක් පමණ නොදමන බව සිතන්න. ලුණු අඩංගුකරනුයේ තේ හැඳි වලින් මිස කිලෝ වලින් නොවුණත් රසයට එයින් බාධාවක් නොවේ. රසය විකෘතිවනුයේ වැඩිපුර යොදන විටය. හෙළ වෙදකමෙන් රෝග සුවයට ඖෂධ පමණක් ප්‍රමාණවත් නොවේ. වෛද්‍යවරයා ඔබේ රෝගය බලපා ඇති හේතුව හැඳින එම තත්ත්වයන් සමනය කරගත හැකි ආහාර පාන සහ ඇවතුම් පැවතුම් පිළිබඳ පැහැදිලි කිරීමක් කරනු ඇත. ආතරයිටිස් නැතිනම් අස්ථි පර්වදාහය යනුවෙන් හඳුන්වන රෝග තත්ත්වයේදී බොහෝ දෙනා අස්ථිවල පෝෂණය ගැන සිතා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් සහ යකඩ ලබා ගැනීමෙන් අස්ථි වේදනා තුනී කර ගැනීමට කල්පනා කරයි.

කඩල වැනි ධාන්‍ය වැඩිපුර ආහාරයට එක් කර ගනී, නමුත් ආතරයිටිස් රෝගියා කඩල ආහාරයට ගැනීම සුවය සඳහා වස කෑමක් හා සමාන විය හැකි වන්නේ වාතය ඇවිස්සීම අධික, විය හැකි  කඩල ආහාරයෙන් රෝගයේ වේදනාව වඩාත් දැඩි විය හැකි බැවිණි. එවිට වාතය සමනය සඳහා ප්‍රතිකාර ලබාදී ඇති විට ඒ ප්‍රතිකාර ලබා ගනිමින් වාතය අධිකවන ආහාර ලබා ගැනීමෙන් රෝගය උත්සන්න විය හැකිය. එවිට බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරනුයේ බෙහෙත්වලට විය හැකිය. එවන් අවස්ථාවක ඒ වරද බැරවෙන්නේ ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයාට හෝ වෙදකමට වීම නිරන්තරයෙන් දැකිය හැකි තත්ත්වයකි. මේ නිසා වෛද්‍ය නියමය ඉක්මවා නොයන්නට හැම විටම වග බලා ගන්න. තවත් සමහරු  ඇල්වතුර භාවිතය නවතන්නට උපදෙස් ලැබුණ විට නිතර වතුර උණු කළ නොහැකි යැයි පවසා ඉඳ හිට උණුවතුරත් වැඩි පුර ඇල්වතුරත් භාවිතා කර වෙද මහතාගේ ප්‍රතිකාරවලින් ගුණයක් නැති බවත් වේදනාව වැඩි වූ බවත් පවසන්නට ඉඩ තිබේ. මේ නිසා ඕනෑම ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුගමනය කරද්දී වෛද්‍ය නියමය ඉක්මවා නොයන්නට වගබලා ගන්න.

නියම කරන අනුපාන, නියම කරන ප්‍රමාණ, නියම කරන වේල් ගණන ,පත්‍ය අපත්‍ය ආහාර ,හෙද කම මේ සියල්ල නිසියාකාරව පවත්වාගෙන ඔබ වෛද්‍ය කර්මයක පිහිට පතනවා නම් රෝගයක සුවය ස්ථීරය. ඇතැම් වෛද්‍යවරු ඇතැම් රෝග සුවපත් කිරීමට නම් දරා සිටිය හැකිය.  එහි අදහස ඔහු දන්නේ එම රෝගය පමණක් සුවපත් කිරීම යන්න නොවේ. කඩුපුල් මල් ව්‍යාපාරය ලෙසින් අප ගමින් ගමට බෝ නොවෙන රෝග සුවපත් කරමින් යන ගමනේදී දියවැඩියාව,  රුධිර පීඩනය, ආතරයිටිස්, සෙම, හතිය, හෘදයාබාධ පමණක් සඳහා රෝගීන්ට ප්‍රමුඛතාවයක් දෙන්නේ නැත. පංච කර්ම යැයි කියූ විට ඕනෑම ව්‍යාධියකට ප්‍රත්‍යක්ෂ වෙදකම් දැනීමක් වෛද්‍යවරයෙකු සතුව පවතින නිසා වෛද්‍යවරයා සුවපත්කරවන රෝගීන් එක් අංශයකින් වැඩි බවක් දැක්වූ පමණින් ඔහුට සුව කළ හැක්කේ එම රෝග පමණකැයි සිතීමෙන් වළකින්න.වෙදකම ප්‍රගුණ කළ තැනැත්තාට ඕනෑම රෝගයකට ප්‍රතිකාර ලෙස තමන් සෑදූ ප්‍රතිකාර පංතියක් තිබිය යුතුය.අනුන් සකස් කළ ඖෂධවලින් තම වෙදකම කිරීමට උත්සහ දැරීම තුළ යම් යම් ගැටලු පැවතිය හැකිවන්නේ වෛද්‍යවරයා කොතරම් දක්ෂ වුවත් පෙර කී ඖෂධ නිෂ්පාදකයා ඒවා නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඖෂධ මත  ඒ වෙදකම සාර්ථක අසාර්ථක බව පෙන්විය හැකි බැවිණි.
https://slhelaosu.blogspot.com/

No comments:

Post a Comment